ඉමක් නොනක් තවම අපහැදිලි විශ්වයේ දෙවියන් සිටිය හැකියි, එහෙත් අප මේ අදහන්නේ දෙවියන්ද කියන සැකය වෙලාවකට මතු වෙනවා. මන්දයත් මිනිස්සු මෙහෙම දෙවියන්ට බොරු කරන්න ගියොත් , සැබෑ දෙවියන් අපට හොඳ පාඩමක් ලඟදීම උගන්වයි.ඇස් ඇරගෙන සිහින දකින්න ආශිර්වාදයන් අවශ්‍යයයි.ඔබ කරන කිසියම් කාර්යකට තවත් කෙනෙක්ගෙන් හෝ බලවේගයකින් ආශිර්වාදයක් ලැබෙනවා නම්, එය ඉතා වටිනවා. මෙහෙම කියන්නේ වත්මනේදී ඇදහීම සංදර්ශනයක් වෙලා තියෙන නිසා.

අපේ් මාමාගේ දැඩි ඉල්ලීම මත මමත් මගේ පියාත් පසුගිය සතියේදි අර හැමෝම යන ශ‍්‍රී ලක්ෂ්මි දේවාලකට ඔහුත් සමඟ ගියා. මම එහි නම සහ පළාත කියන්නේ නෑ. ලක්ෂ්මි දෙවඟන ධනයට අධිපති දෙවගන විදියට තමයි සළකන්නේ. එම දේවාලයේ ලක්ෂ්මි දේවතාවිය ළඟට පළතුරු වට්ටිය තියලා එන්න හදන විට තේවාව කරන කපු මහත්තයා අපි හැමෝටම මෙහෙම දෙයක් කිව්වා.

”මෙතන තියෙන ෆෙන්ෂුයි කාසි තුනක් ගන්න.ඒක ළඟ නිතරම තියාගත්තාම ලක්ෂ්මි දෙවගනගේ ආශිර්වාදය ඔබට ලැබෙනවා. එක ෆෙන්ෂුයි කාසියක් රුපියල් 250යි. එය දේවාලයේ සංවර්ධනය පිණිසයි.” ඉතිං මහා ලක්ෂ්මි දේවාලයට ගියාම ගන්න චීන ෆෙන්ෂුයි කාසිවලට ලක්ෂ්මි දෙවඟනගේ ආශිර්වාදය ලැබෙන්නේ කොහොමද කියන ගැටළුව මගේ මනසේ ඇතිවුණා.චිනයේ ෆෙන් ෂුයි සහ ශ‍්‍රී ලක්ෂ්මි දේවිය අතර තියෙන සම්බන්ධය මොකද්ද? ඔවුන් ඉන්නේ එකම දේව මණ්ඩලයේද? ලක්ෂ්මි දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන හුවමාරු මාධ්‍ය විදියට ෆෙන්ෂුයි කාසි යොදාගන්න ඇයගේ අනුමැතිය යටතේද? එම ෆෙන් ෂුයි කාසියක මිල ශ‍්‍රී ලංකා රුපියල් 250ක් වෙන්නේ ඇයි? ඇත්තටම මිනිස්සුන්ට තියෙන ප‍්‍රශ්නවලට අනුව ඕවා ගැන හිත හිතා ඉන්න වෙලාවක් නෑ. එමනිසා කාගෙන් හරි ප‍්‍රශ්නය විසදෙන නිසා ෆෙන්ෂුයි කාසි ගන්නවා.

ඉතිං මෙම ලිපිය ලියන්න පසුබිම සැකසුවේ ඔය සිද්ධිය.අපිට දෙවියන් සමඟ ගැටළුවක් තිබිය නොහැක. නමුත් දෙවියන් විකුණාගෙන කන මිනිස්සුන් සමඟ විසඳාගත යුතු ප‍්‍රශ්නයක් තියෙනවා. මා එය පැවසුවිට හැමදේම විකිණෙන සමාජයේ දෙවියන් විකුණලා හෝ සැමගේ අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරනවා නම්, එහි කිසිදු වරදක් නැති බව කෙනෙක් කියන්නත් පුළුවන්. මතු අනාගතය දක්වාද මෙහෙම දෙවියන් අසාධාරණ ලෙස විකූණන්න ගියොත් , කවදාවත් අපි කාටවත් ඇත්ත දෙවියෝ මුණ නොගැසෙයි. එසේම වත්මනේදී මිනිස්සුන්ට දේශපාලඥයන් එපා වී ඇති තරමටම දෙවියන්ද එපාවීමේ සම්භාවිතාවයක් තියෙනවා. අධ්‍යාමවේදින්, දෛවඥයන්, ජෝතිෂ්‍යඥයන් යැයි කියාගන්න සමහර හොර තක්කඩින් මවන ලද ව්‍යාජ දෙවියන් පසු පස මේ විදියට අල්ලස් දෙමින් යන අහිංසක ජනයාට අන්තිමේට සැබෑ දෙවියන්ද සඳහටම අහිමිවෙනවා නියතයි. එමනිසා ජනතාවගේ දුක වාසියක් බවට පත්කරගත් දෙවියන් විකිණිමේ ජාවාරම ගැන මිනිස්සු දැඩි අවධානයෙන් සිටිය යුතුය. එසේම දෙවියන් විකිණිම සාදාචාර සම්පන්න සමාජයකට සුදුසු දෙයක් නොවන නිසා එය තහනම් වෙළඳාමයක් ලෙස ලැයිස්තුගත කළද එහි කිසිදු වරදක් නැත.

මිනිස්සු ගොඩක් එද්දි ඊට සරිලන සේවා සපයන්න දේවාල සංවර්ධනය කරන්න මුදල් අවශ්‍යයයි. එය සාධාරණයි. එහෙත් ඒක කෙලින්ම නොකියා ෆෙන් ෂුයි කාසි ගත්තාම ලක්ෂ්මි දේවියගේ ආශිර්වාදය ලැබෙනවා කියන එක වැරදියි. ඇත්තටම ලංකාවේ වැඩිම අල්ලස් ප‍්‍රමාණයක් ගන්නේ දෙවියන් සම්බන්ධ කිරීමට බව ඔබ කවුරුත් දන්නවා. එම අල්ලස පළතුරු වට්ටියක, හක්ගෙඩියක සිට රත්තරං කිලෝ ගණන් දක්වා විහිදී යනවා. මම මෙහි අල්ලස ලෙස පවසන්නේ සියළු දේවාල සම්බන්ධයෙන් නෙවෙයි. දේවාලයට ගියාම සාමාන්‍යයෙන් බත් කන මිනිහෙක්ට තේරුම් ගන්න පුළුවන් එතන වෙන්නේ මොකද්ද කියලා. එමනිසා එය අල්ලසක් ලෙස ගන්න තැන් ඔබට හදවතින් නොව මොළයෙන් තීරණය කළ හැකියි.

අපායට යන්ට ඕනෑ නම් නුඹට
කරපන් මහ ඇමතිකම එක දවසකට
නැත්නම් පන්සලක දේවාලයක සිට
අදිපතිකම තුන් දවසකට

අන්න එහෙම කවියෙන් අපායට යන හැටි පෙන්වලා දුන්නේ ඉතිහාසයේ කෙලින් කතා කළ හාමුදුරුවෝ නමක් ලෙස ඉතා ප‍්‍රසිද්ධ යක්කඩුවේ හාමුදුරුවෝ. උන්වහන්සේ එහෙම ලිව්වේ නවසිය පනස් ගණන්වල ප‍්‍රකාශයට පත්කළ වනකතා පොත් පෙළකටයි. මෙම ආන්දෝලාන්මක කවිය නිසා එම පොත් පෙළ කාලයක් තහනමටද ලක්වුණා. සාමාන්‍යයෙන් නම් අතරමැදියා පාරිභෝගිකයාගෙන් ලබාගන්නා මුදලින් කොටසක් කොමිස් ලෙස තබාගෙන ප‍්‍රධාන කොටසක් නිෂ්පාදකයාට හෝ සේවා සපයන්නාට ලබාදෙනවා. එහෙත් දෙවියන් සම්බන්ධකරන සමහර තැරැුව්කරුවෝ ඉතා පුදුමවන්නේ ඔවුන් කිසිම ප‍්‍රතිලාභයක් දෙවියන්ටත් නොදී සම්පුර්ණ කුට්ටියම ලබාගන්නා නිසයි. එමනිසා ඔහු හෝ ඇය ලොව වැඩිම වාසිය ගන්න තැරැුව්කරුවා වෙනවා.

අවම පිරිවැයකින්, වැඩිම ආදායමක් උපයන ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන දෙවියන් විකිණිමේ ව්‍යාපාරය අතීතයේ දී මුලිකවම මිනිස්සුන්ගේ සිත් සනසන මහා සමාජ සේවයක් වුණා. එසේම දහස් ගණන් මිනිස්සුන්ගේ මානසික ගැටළු විසදන ප‍්‍රතිකාර ක‍්‍රමවේදයක්ද වුණා. ඒ තුළ මහා ගුප්ත විද්‍යාවක්ද තිබුණා. එහෙත් කෙමෙන් කෙමෙන් වාණිජකරනය වුණ එය ඉල්ලූමක් සහිත සේවයක් බවට පත්වුණා. අදවන විට දෙවියන් ලොකු කර්මාන්තයක්. අබාධ පිවිසුමක් සහ අබාධ පිටවීමක් තිබෙන මෙම කර්මාන්තය ඉතාම තරඟකාරීයි. දේව විශ්වාසයන් සහ ජෞතිශයට ඉතා ඉහළ තැනක් හිමිවෙලා තියෙන ඉන්දියාවේ මෙම ජාවාරමට විරෝධය පාන ජනප‍්‍රිය තලයේ නිර්මාණයක්  බිහිවුණා. දෙවියන් ජනතාවට සම්බන්ධ කළ හැකියි කියන සමහර කූට තැරැුව්කරුවන් ලෙස රඟපාන බොරුකාරයන්ට රිදෙන්න කණේ පාරක් ගහන්න අමිර් ඛාන් රඟපාන PK සිනමාපටය සමත් වුණා. මේ පිළිබඳව බදාදට ලියන මව්බිම FT එවරස්ට් ලිපියෙන් වරක් කතා කළ නිසා එම සිනමාපටය ගැන මෙහි වැඩිදුර ලියන්නේ නෑ. ඒකාකාරි හින්දි සිනමාව තුළ සෑමවිටම වෙනසක් කරන්න උත්සහා දරන නළුවෙක් වන අමිර් ඛාන් පීකේ ඔස්සේ තෝරාගත්ත මතෘකාව ඉතාම අපුරු වෙනවා සේම ඉතාම උපහාසාත්මක ලෙස සමහර දේව ජාවාරම්කාරයන්ගේ ක‍්‍රියාකලාපය දැඩිව විවේචනයට ලක්කරනවා.

PK සිනමාපටය ඉතාම සරලවම කියන්නේ දෙවියන් සමඟ ගනුදෙනු කරන්න අතරමැදියන් අවශ්‍ය නොවන අතර දෙවියන් සමග සම්බන්ධතා පවත්වනවා යැයි කියන බොහෝ දෙනා වචනයේ වසගයෙන් සහ පෞරුෂයේ වසගයෙන් ජනතවෙගේ දුක වාසිය බවට පත්කරගත්තා හොර තක්කඩින් ලෙසයි. 2010දී සරත් ෆොන්සේකා මහතා දිනන බව පොළොවේ පස්කමින් පැවසු අනාවැකි කියාගන්නා පසුව මහින්ද මහතා පැරණොත් වෙඩි තියාගන්නවා කිවේ ඔහු සතු කිසිදු ජෞතිෂ්‍ය හැකියාවකින් නොවෙයි. එකළ ඔහුත් මහින්ද මහතාගේ පාක්ෂිකයෙක් නිසා මහින්ද දිනයි කියන විශ්වාසය පමණයි ඔහුට තිබුණේ. ඔහුට එහෙම හැකියාවක් තිබේ නම් වාර දෙකකදී මෙවැනි ප‍්‍රබල අනාවැකියක් වරද්දා ගන්නේ කෙසේද? ඊට පස්සේ අනාවැකි කියන අය ගැනත්, අද වන විටත් අනාවැකි කියන අය ගැනත් කතා කරන්න දෙයක් නෑ. එත් කාලෙන් කාලෙට උපන් වෙලාවට දෛවය භාරදීලා තියෙන අපේ රටේ මිනිස්සු මේ තක්කඩියන්ට රැවටෙනවා.

අතරමැදියන් අවශ්‍යවන්නේ ව්‍යාපාරිකයන්ට මිසක් දෙවියන්ට නෙවෙයි. ව්‍යාපාර කටයුතුවලදීි වුණත් අතරමැදියන්ට ලබාදෙන කොමිස් ඉවත් කිරීමෙන් පාරිභෝගිකයන්ට වඩා වැඩි වාසියක් ලබාදිය හැකියි. එමනිසා තමයි ඝෘජු අලෙවිකරණය නම් සංකල්පය බිහිවුණේ. එමනිසා දෙවියන් සම්බන්ධ කිරීමට අතරමැදියන් පඩුරු ලෙස ඉල්ලන කොමිස් මුදල, රත්තරං මාල, පොල් තෙල් පහන් සහ ෆෙන් ෂුයි කාසි වහාම ලබා නොදෙන්න ඔබත් පියවර ගන්න.
ආදරය හුවමාරු කරගත හැක්කේ ආදරයටම වගේ දෙවියන් සමඟ ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් දෙවියන් සහ සම සිතුවිලි ඔස්සෙ පමණයි. දෙවියන්ගේ ලෝකයේ හුවමාරු වටිනාකම බිංදුවක් වන රත්තරං, සල්ලි, පොත් තෙල් පහන්, හග්ගෙඩි, බෙලි කටු, කුණුවෙන පළතුරු වැඩිවෙන ප‍්‍රමාණයට මිනිස්සුන්ට සළකන්න දෙවියන්ට පිස්සුවක් නැහැ. ඒ ඇත්ත කියන්න සහ එය පිළිගන්න බිය වෙන්නත් අවශ්‍ය නෑ.

සැබෑ ලක්ෂ්මි දෙවඟන සිටින්නේ කෙහේද?

ශ‍්‍රී ලක්ෂ්මි දෙවඟන ඉන්න තැන දැන් අපි හොයමු. හින්දු දේවතාවියක් වන ඇය ධනය, වාසනාව සහ සෞභාග්‍යයේ දෙවඟනයි. ලක්ෂ්මි යන නාමය ලාක්ෂ්‍යා යන සංස්කෘතික වචනය ඔස්සේ ලැබුණ බව පැවසෙනවා. එම වචනයේ ආසන්න තේරුම අරමුණ එහෙමත් නැත්නම් ඉලක්කයයි (Aim/Goal) එහෙත් ඇය සල්ලිවල දෙවගන නොවන බව අපි පිළිගත යුතුයි.ධනය යනු සල්ලි නෙවෙයි. ලක්ෂ්මි යනු සල්ලි නෙවෙයි. වාසනාව යනු සල්ලි ලැබීම
නෙවෙයි. සෞභාගය යනු සල්ලි ලැබීම නෙවෙයි. එය තේරුම් නොගන්නා තුරු අපට ඔය කිසිම දෙයක් ලැබෙන්නේ නෑ. ලක්ෂ්මි දෙවගනගේ අත් දෙකකම තියෙන්නේ පිරිසිදු නෙළුම් මල්. ඇය රන් කාසි පහතට දමනවා මිසක් ෆෙන් ෂුයි කාසි අතට අරගෙන හොරෙන් ඉනේ ගැටගහ ගන්න රූපයක් අප දැකලා නෑ. නමුත් අපි ගිහින් මුදල්වලින් හදපු මල්මාල ඇයගේ පිරිසිදු කරවටා දාලා අපේ පටු අරමුණු වෙනුවෙන් ඇයව අපිරිසිදු කරනවා. මතක තියාගන්න ඇය සිටින්නේ නෙළුමක් මත මිසක් රත්තරං පෙට්ටගමක් උඩ නෙවෙයි. නෙළුම ඇයගේ සුපිරිිසිදු චරිතය සංකේතවත් කරනවා. ඇයගේ වස්ත‍්‍රයේ රතු වර්ණය ඇයගේ ක‍්‍රියාශීලිත්වය සංකේවත් කරනවා. එනම් නිකං ඉඳලා ජීවිතය දිනන්න බෑ.එසේම අත් හතරින් මිනිස් දිවියේ අරමුණු හතරක් හින්දු දහම අනුව නිරූපණය කරනවා. ඒවා නම්, ධර්ම එනම් නිවැරදි දිවි පෙවෙත (Righteousness), අර්ථ එනම් ධනය (Wealth), කාම එනම් ආශාව (Desire), මොක්ෂා එනම් නිදහස්වීම/ගැලවීම/විමුක්තිය (Salvation/Liberation). ධනය යනු සල්ලි නොවන බව ඇය සංකේත පෙන්වා තිබෙනවාx සල්ලි තමයි ජීවිතය කියලා හිතන පිරිසට කවදාවත් ලක්ෂ්මි දෙවඟනගේ ආශිර්වාදය ලැබෙන්නේ නැහැ.එසේම

රන්කාසිවලට හෝ ලොකු පළතුරු වට්ටිවලට ඇයගේ ආශිර්වාදය ලාභ ලෙස මිලට ගත නොහැකියි. සමහර කපු මහත්වරු කියන කියන හැමදේම කරන්නේ නැතිව තමන් මෙය කළ යුත්තේ ඇයි කියලා ඇස් ඇරලා කල්පනා කළ යුතුයි. අපි මේ ගැන විවෘතව හිතන්න බිය විය යුතු නැහැ. බිය විය යුත්තේ ෆෙන්ෂුයි කාසි ඇතුළු තවත් අනවශ්‍ය නිෂ්පාදන ලක්ෂ්මි දේවාල තුළ විකුණන පිරිසයි. ලක්ෂ්මි දෙවඟනට අවශ්‍ය යහපත් ධනවතුන් බිහිකරන්න මිසක් සල්ලිකාරයන් බිහිකරන්න නෙවෙයි. සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ ගහක් යට, ගෞතම ලෙස බුදුවුණේ ගහක් යට, උන්වහන්සේ පිරිනිවන් පෑවේ ගහක් යට. ජේසුස් ඉපදුනේ ගව ලෙනක, ජීවත් වුණේ තැන් තැන්වල, මියගියේ මිනිසුන් අතර සැරිසැරූ සැබෑ දෙවියා තේරුම් ගන්න බැරිවුණ බහුතර මිනිසුන්ගේ දරුණු හිරිහැරවලින්. එහෙත් යුග ගණනාවකට පසුවත් අප අනුගමනය කරන්නේ උන්වහන්සේලා මිසක ඒ කාලේ හිටිය සල්ලිකාරයෝ නෙවෙයි. සල්ලි ඕන එහෙත් ධනය කියන්නේ සල්ලි නෙවෙයි. ඔබ ජීවිතයේ සැබෑ ධනය හොයන්න පටන් ගත්තොත්, ලක්ෂ්මි දෙවඟන ඔබ අසල හිදියි.සාර්ථකත්වයට පත්වෙන්න තියෙන්නේ එකම එක නීතියයි, එනම් තමාට බොරු නොකිරීමයි. පවුලෝ කොයියෝ නම් ලේඛකයා එහෙම කියනවා. ඉතිං ඔබ ඔබට බොරු නොකරන්න ඒ වගේම දෙවියන්ට බොරු නොකරන්න. ”දෙවියනි ඔවුන් කරන දේ ඔවුන් නොදනියි. එැබැවින් ඔවුන්ට සමාව දෙනු මැනවි.” මිය යන්න පෙර ජේසුස් වහන්සේ පැවසූ එම වාක්‍ය අදට එදාටත් වඩා ගැළපෙනවා කියලා මට හිතෙනවා.දැන දැනම දෙවියන්ගේ භූමියේ දෙවියෝ විකුණන අයට කියන්න තියෙන්නේ එපමණයි.

කැලූම් වැලිගම
www.kelumweligama.lk
2015 වසරේ මව්බිම පුවත්පතේ පළවුණ ලිපියකි