පර්සෝනා කෘතිය ලියන කාලයේදීම පර්සෝනා (Persona) නමින් ඇති වෙනත් නිර්මාණ
මොනවාද යන්න සොයා බැලූවා. එහිදී පර්සෝනා නමින් කාටුන් වැඩසටහනක්,
පර්සෝනා ක‍්‍රීම්, පර්සෝනා නමින් මෝටර් රථයක් සහ සිනමා පටයක් තිබෙන බව
දැනගන්න ලැබුණා. එත් එම සිනමාපටය පැරණි එකක් නිසා හොයා ගන්න බැරිවුණා.
ලෝක සිනමාවේ බිහිවූ අති විශිෂ්ට සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන බර්ග්මන්
අධ්‍යක්ෂණය කළ පර්සෝනා (Persona) සිනමාපටය පසුගියදා වීඩියෝ සැලකින් හොයා
ගන්න පුළුවන් වුණා.
බර්ග්මන් (Ingmar Bergman) වැනි විශිෂ්ට නිර්මාණකරුවෙක්ගේ සිනමාපටයක් හරියට
විදින්නත් මම නිර්මාණාත්මකව පරිණත වී නොමැති නිසා ඔහුගේ එම අග‍්‍රගන්‍ය
සිනමා නිර්මාණය ගැන මට දැනෙන දේ ගැන සටහනක් නොතබන්න මම තීරණය
කරනවා. නමුත් ඔහු එම සිනමාපටයේදී මූලිකව කතා කරන්නේ පර්සෝනා නම්
වචනයෙන්ම කියැවෙන පුද්ගලයෙක්ගේ විවිධ ස්වරූපයන් පිළිබඳවයි.
පර්සෝනාව ගැන හොයන කෙනෙක්ට මෙම සිනමාපටය ඉතා වටිනවා.එසේම එය
ලෝක සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ට සිනමා නිර්මාණයක් වශයෙන්
සළකනවා.